COVID-19 ආවේ කොහෙන්ද ? කොතනින්ද ? කොහොමද ?

COVID-19 ආවේ කොහෙන්ද ? කොතනින්ද ? කොහොමද ?


හරියටම මාස දෙකකට කලින් වූහාන් වෛරස් එකේ ආරම්භය කොහොම වෙන්න ඇද්ද කියලා ඒ වෙද්දි පැවති මතය ගැන ලිපියක් ලිව්වා. සමහර අයට මතක ඇති මතක නැතුවත් ඇති. ඒ රීසර්ච් වල මුල් අවධියේ ප්‍රකාශ වෙලා තිබුනෙ මේ වෛරසයය හා වවුලන්/සර්පයන් අතර සම්බන්ධයක් තිබෙන්නට හැකි බවයි. ගතවුන මාස දෙක ඇතුලත මේ සම්භවය ගැන විවිධ කතා මාධ්‍ය තුලින් අසන්නට ලැබුනා, ඒ අතරිනුත් ජනතාව අතර වඩාත්ම ප්‍රචලිත වුනේ සහ ඇතැම් රාජ්‍ය න්‍යායපත්‍රයන් අනුව ප්‍රචලිත කිරීමට උත්සහ දැරුවෙ මේ වෛරසය ජෛව අවියක් බවත්, යමි පර්යේෂණාගාරයක් තුල මෙය නිපදවන්නට ඇති බවත්, ඒ හරහා දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙය මුදාහරින්නට ඇති බවත්. නමුත් මේ වාදයේ එක් අන්තයක සිටිමින් මා දැරූ පෞද්ගලික මතය වුනේ මෙය පර්යේෂණාගාරයක නිපදවූවක් නොවන බවත්, වෛරස විකෘති වීමේ සීඝ්‍රතාව මත පදනම්ව යම් ආකාරයකින් සත්වයෙකුගේ සිට මිනිසාට සංසරණය වීමේදි (Zoonotic transmission) වඩාත් කාර්යක්ෂමතාවකින් යුතුව සිදුව ඇති බවත්. ඒ නිගමනයට එන්න හේතු වුනෙත් මීට කලින් කොරෝනාවෛරිඩේ කුලය තුලින් පැන නැගුනු වෛරස තත්වයන් චීනය තුල දැක ගැනීමේ හැකියාව තිබුනු නිසාත් , වන සත්වයින් මාංශ පිණිස අධි පරිභෝජනය සිදුකරන චීනය මෙවැනි ආකාරයේ උවදුරකට අත වනමින් සිටි නිසාත්.
මේ වෙද්දි COVID-19 වල සම්භවය ගැන දීර්ඝ පර්යේෂණ වලින් පසු ඉදිරිපත් වෙන පර්යේෂණ ලේඛන ඉදිරිපත් වෙමින් පවතිනවා. මේ පර්යේෂණ තුල දකින්න පුළුවන් පොදු ලක්ෂණය තමයි COVID-19 යනු පර්යේෂණාගාරයක් තුල නිපදවු වෛරසයක් නොවන බව. එහෙම කියන්න පැහැදිලි හේතු පවතිනවා.


කොරෝනාවෛරසය නමින් මේ වෛරසය හැඳින්වුවාට පෙර ලිපි වලිනුත් පැහැදිලි කලා මේක කොරෝනාවෛරිඩේ කුලයට අයත් වෛරසයක් මිස එහි නාමය නොවන බව. COVID-19 / HCoV-19 නම්වලින් මෙය හඳුන්වනවා. වර්තමාන යාවත්කාලීන පර්යේෂණ ලේඛන වල SARS-CoV-2 කියලත් හඳුන්වනවා. මේ නම් වලින් හඳුන්වන කොරෝනාවෛරසය මානව වර්ගයාට සංසරණය වුන හත්වන කොරෝනාවෛරසයි. SARS-CoV, MERS-CoV වර්තමාන SARS-CoV-2 වගේම මීට කලින් පැමිණි දරුණු කොරෝනාවෛරසයන්. HKU1, NL63, OC43, 229E වගේ කොරෝනාවෛරසයන් එතරම් හානි දායක නෑ, ඒවා සුළු උණකින් පසුව සුව අතට හැරීම සිදුවෙනවා.
මෙතන ඉඳන් ටිකක් තාක්ෂණික කාරණා වලට යන්නෙ , හැකි තරම් සරල කිරීමට උත්සහා කරනවා. SARS-CoV-2 වෛරසයේ ජීනෝමික ව්‍යුහය සලකා බැලුවම දකින්න පුළුවන් කාරණයක් වෙන්නේ මේ වෛරසය ඉතාමත් කාර්යක්ෂම ලෙස ACE2 ප්‍රතිග්‍රාහකය හා බැඳෙන බව. ACE2 ( Angiotensin-converting enzyme 2) කියන්නේ එන්සයිමයක්. මේ එන්සයිමය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති සෛල, කුඩා බඩවැල ආශ්‍රිත සෛල ආදි ස්ථානවල දකින්න පුළුවන්. මේ එන්සයිමය Angiotensin ll පෙප්ටයිඩය Angiotensin 1-7 ට පරිවර්තනය කිරීමේ උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාකරනවා. Angiotensin 1-7 න් සිදු කරන්නෙ රුධිරවාහීනි පුළුල් කිරීම. දැන් මේ කිව්ව ACE2 එන්සයිමය සෛල මතුපිට දකින්න පුළුවන්. මේ හේතුවෙන් ACE2 , කොරෝනාවෛරස් සෛල තුලට ඇද ගැනීමේ දොරටුවක් ලෙස ක්‍රියාකරනවා.


වෛරස් ව්‍යුහය ගත්තම ඉතාමත් වැදගත් ව්‍යුහීය කෘත්‍යක් සිදුකරන කොටසක් තමයි Receptor binding domain (RBD) කොටස (මේක පහල තිබෙන ඡායාරූපයේන් බලන්න පුළුවන්). වෛරසයේ RBD කොටස තමයි ඉලක්කගත සෛලයේ ප්‍රතිග්‍රාහකය හා බැඳෙන්නේ. ඒ කියන්නේ ACE2 සමඟ බැඳෙන්නෙ ඒ කොටස.






ඇයි එහෙමනම් SARS-CoV-2 පර්යේෂණාගාරයක නිපදවූවක් නොවේ යැයි කියන්නේ ? SARS-COV-2 නිපදවීමකට ලක්වුනා නම් ඒ සඳහා යොදාගත යුත්තෙ මීට කලින් පැමිණි කොරෝනාවෛරිඩේ කුලයට අයත් වෛරසයක ජීනෝම පදනමක් භාවිතයෙන්. නමුත් ඒක එහෙම වෙන්න බැරි වෙන්න හේතුව ලෙස දක්වන්නේ SARS-COV-2 වෛරසයේ RBD කොටස ACE2 හා බැඳීමේ කාර්යක්ෂමතාව වෛරසයටම ඉතාමත් අනන්‍ය ලෙස සිදුවීම නිසා.
එහෙමනම් කොහොමද මේක ඇති වුනේ ? මේ ගැටලුවට කල්පිත දෙකක් පවතිනවා.
1. මිනිසාට ආසාධනය වීමට පෙර සත්වයෙකු තුල ස්වාභාවික වරණයට ලක්වීමෙන් පසු මිනිසාට ආසාධනය වී පැතිරීම.
වූහාන් වල හුනාන් වෙළඳපල අවටින් තමයි ප්‍රථම ආසාධිතයන් මතුවෙන්නෙ. ඒ නිසා මේක හුනාන් වෙළඳපලින් නිකුත්වුන සත්ව කොටසකින් පැමිණියා විය හැකියැයි මුල සිටම උපකල්පන පැවතුනා. ජානමය තත්වයන් සලකා බලද්දි වවුලන්ට වැලඳෙන SARS-CoV වෛරසය SARS-COV-2 වෛරසයට ඉතාමත් සමානකම් දක්වනවා. Rhinolophus affinis වවුල් විශේෂයේ දකින්න පුළුවන් RaTG13 වෛරසයත් SARS-COV-2 වෛරසයට 96% සමානතාවක් දක්වන බව සඳහන් වෙනවා නමුත් RaTG13 වල RBD කොටස වෙනස්කම් දරන නිසා ACE2 එන්සයිමට කාර්යක්ෂමව ප්‍රතිග්‍රහනයේ දුර්වලතා දක්වනවා.
මලයානු කබල්ලෑවා (Manis javanica) ග්වාන්ඩෝන්ග් ප්‍රාන්තයට නීති විරෝධිව ගෙන එන සත්වයෙක් (මස් පිණිස). මේ.විශේෂය තුලත් SARS-COV-2 වෛරසයට ඉතාමත් සමාන වෛරයක් දකින්න පුළුවන්. වවුලන්ගෙ දකින්න පුළුවන් RaTG13 වෛරසය තරම් සමානකම් නොදැක්වුවත් මේවායෙ තිබෙන විශේෂත්වය තමයි RatG13 වලට වඩා SARS-COV-2 RBD කලාපයන්ට සමාන RBD කලාපයන් දැරීම.
ඒ අනුව ඉතා ඉහල ගහන ඝනත්වයක් ඇති සත්ව විශේෂයක SARS-COV-2 වෛරසයේ මුල් ආකාරය විකෘතියට ලක්වෙමින් ක්‍රමානුකූලව වරණයකට ලක්ව ඇති බව මේ උපකල්පනයෙන් සඳහන් කරනවා. වවුලන් කියන්නේ අධික ගහන ඝනත්වයක් සහිත සතුන් විශේෂයක්. බොහෝවිට SARS-COV-2 පූර්වජ අවස්ථාවේ ධාරකයා වවුලන් විශේෂයක් වීමට හැකියාව තිබෙන්නෙ මේ හේතුවෙන්.
2. සත්වයෙකුගෙන් මිනිසාට යම් ආකාරයක මේ වෛරසයේ මුල් අවස්ථාව ආසාධනය වී ඉන්පසුව ස්වාභාවික වරණයට ලක්වීම.
මේ කල්පිතය අනුව SARS-COV-2 පූර්වජ අවස්ථාව සත්ව විශේෂයක් තුලින් මානවයාට සංක්‍රමණය වී (after zoonotic transmission). මානවයාගෙන් මානවයාට පැතිර යාමෙිදි පෙරකී ව්‍යුහීය ලක්ෂණ ස්වාභාවික වරණය තුලින් අත් කරගන්නට ඇති බව සඳහන් කරනවා. පෙර සඳහන් සියළු කොරෝනාවෛරස් ආකාර පැවත එන්නෙ පොදු පූර්වජයෙකුගෙන්. මලයානු කබල්ලෑ විශේෂය තුල SARS-COV-2 වලට සමාන RBD කොටසක් ඇති වෛරසයක් පැවතීමෙන් අපිට ඉතාමත් ලේසියෙන් අනුමාන කරන්න පුළුවන් මානවයාට සංසරණය වු SARS-COV-2 පූර්වජ අවස්ථාවත් එවැනි RBD කොටසක් දරන්නට ඇති බව.
මේ කලබල අස්සෙ මේ පර්යේෂණවල තියෙන වැදගත්කම මොකක්ද කියන ප්‍රශ්නෙත් ඇති වෙන්න ඕන. වැදගත්කම තමයි SARS-COV-2 වෛරසය යම් හෙයකින් වවුලන් තුල අැති RaTG13 වැනි වෛරසයක් විකෘතිකරනයට ලක්ව මානවයාට සම්ප්‍රෙශණය වූවානම් SARS-COV-2 වලට වඩා වෙනස් ලක්ෂණ සහිත මාරාන්තික වෛරයක් වූවත් ඒ ගමන් මඟ තුලින්ම නැවත පැමිණීමේ හැකියාව පැවතීම. එහෙමත් නැත්තන් SARS-COV-2 වෛරසය වූවත් එලෙසම නැවත විකෘතිකරනයට ලක්ව පැමිණීමේ අවදානම පැවතීම. අධ්‍යානයේ වැදගත්කම තමයි අනාගතයේදි මේ ආකාරයේ අවදානම් තත්වයන් නැවැත්වීම.
ස්වාභාවික වරණය, විකෘතීන් ඇතිවීම සහ වාසිදායක විකෘති ඉදිරියට යෑම. මේ ඔබ දකින්නෙත් සජීවීව පරිණාමය නැමැති සංසිද්ධිය තමයි.
අවසාන වශයෙන් DOE කියවන, බලන ඔබ සියළු දෙනාම මේ උවදුරෙන් ආරක්ෂා වීමට නිසි උපදෙස් පිලිපැද, තමන්ගෙ පුරවැසි වගකීම ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
Copyed Form #DOE Facebook Page..

Post a Comment

0 Comments